වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය නම කියූ පමණින් රූපලාවණ්‍ය ක්‍ෂේත්‍රයේ ඔහු ගැන නොදන්නා කෙනෙක් නැති තරම්ය. කළුබෝවිල චීන කටු වෛද්‍ය සායනයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය මහතා රූපලාවණ්‍ය ක්‍ෂේත්‍රයේ වැඩි ජනප්‍රියතාවයක් ඇති වෛද්‍යවරයෙකි. මෙරට පමණක් නොව විදේශීය රටවල අය පවා වෛද්‍ය දේශප්‍රිය මහතාගේ ප්‍රතිකර්ම ලබා ගැනීමට එන්නේ ඔහුගේ විස්මිත හාස්කම් ඔවුන් හොදින් දන්නා නිසායි.

පුංචි සන්දියේ ඉඳලම සීයාගේ වෙ‍දගෙදර බෙහෙත් හේත් හොයන්න යන එක ප්‍රසාද්ට නම් ලොකු සතුටක්. අනෙක් ළමයින් දුව පැන සෙල්ලම් කරන කාලේ ප්‍රසාද්ගේ හිත ගියේ බෙහෙත් පැළෑටි හොයන්නත් ඒවා අඹරා ගුලිකරන්නත් වගේ දේවල්වලට. ඒ හින්දම රසකිඳ, හාතවාරිය, ලුණුවිල, හීන් බෝවිටියා වගේ බෙහෙත් හේත් ගැන හොඳ දැනුමකුත් පුංචි ප්‍රසාද්ට තිබුණා. හැබැයි එහෙම පටන්ගත්ත එදා ජීවිතය ගැන කලා ලොවේ කා අතරත් මෙන්ම බොහෝ දෙනෙක් දන්නා හඳුනන චීන කටු පිළිබඳ වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රියට නම් ඒ අතීතය අද ඊයේ වගෙයි.

මාතර යටියන වෙද මහත්තයා ලෙස ප්‍රසිද්ධියට පත් අන්දිරිස් අප්පුහාමි වෙද මහතා ප්‍රසාද් දේශප්‍රිය වෛද්‍යවරයාගේ සියා වන අතර මාතර රෝසි හාමි වෙදහාමිනේ (ආත්තම්මා), සෝමලතා ගමගේ වෙදහාමිනේ (පුංචි අම්මා), මහාචාර්ය ආරියවතී ගමගේ (මව) යන වෙද පරපුරේ කොටස්කරුවෙක් ලෙස වෛද්‍ය ප්‍රසාද් තුළ පාරම්පරික දැනුම ද පැවතීම විශේෂත්වයකි. ඔහුගේ දැනුම ඔබේ අවශ්‍යතාව වෙනුවෙන් ලබාදීමට වෛද්‍ය ප්‍රසාද් ඇප කැප වී සිටියි.

“දකුණු පළාතේ මාතර තමයි මම උපන්නේ. කුඩා කාලයේ ඉඳලම අපේ ගෙදර තිබුණේ වෙද පරිසරයක්‍. ගමේ උදවිය හැදුණු හැම ලෙඩකටම බේතක් හේතක් ගන්න ආවේ අපේ ගෙදරට. ඒ කාලේ කා අතරත් මගේ සීයා හරිම ජනප්‍රියයි. මාතර යටියන වෙදමහත්තයා කිව්වම නොදන්න ‍කෙනෙක් නැති තරම්. ඒ වගේම මගේ ආච්චි යටියන වෙදහාමිනේ. සෝමලතා වෙදහාමිනේ කියන්නේ මගේ පුංචි අම්මා. මගේ අම්මා වෛද්‍යාචාර්ය ආරියවතී ගමගේ. ඔය විදිහට ගත්තොත් මගේ සීයාගේ පරම්පරාවේ හැමෝම පාරම්පරික වෙදුන්. ඉතිං ඒ බලපෑම ඒ විදිහට මගේ ජීවිතයට ලැබුණා කියලයි මට හිතෙන්නේ.

දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ලැබුණු පාරම්පරික ඥානයත් එක්කම ප්‍රසාද්ට තවදුරටත් ඒ ගැන හොයන්න ඕන වුණා. ගමට පමණක් සීමා නොවී ප්‍රසාද් මේ ගෙන්දගම් පොළවට පය තියන්නේ තව දුරටත් විවිධ වෙද හෙදකම් ගැන දැන කියාගන්න. පුංචි කාලේ ඉඳලම බෙහෙත් පැළෑටි පිළිබඳ හොඳ දැනුමක් මට තිබුණා. මේ ලෙඩේට මේ ඖෂධය ගුණයි කියන එක ගැන අවබෝධයක් මට සීය‍ාගෙන් ආච්චිගෙන් මගේ අම්මගෙන් ඉගෙන ගත්තේ. හැබැයි එතනින් එහාට මට තවදුරටත් වෙදකම පිළිබඳ හදාරන්න පුළුවන් නම් කියන ඕනකමක් මට තිබුණා. ඒ නිසයි චීන කටු වෛද්‍ය ක්‍රමය පිළිබඳ ඉගෙනගන්න ඕන කියලා හිතුවේ.

එවකට චීන කටු වෛද්‍ය ක්‍රමය පිළිබඳ කළුබෝවිල මහ රෝහලේ අධ්‍යාපන කටයුතු ලබා දුන්නා. ඒ අධ්‍යයන කටයුතු කරන්න මට පුළුවන් වුණේ එවකට කළුබෝවිල මහ රෝහලේ සිටි මහාචාර්ය පණ්ඩිත් රාජගුරු හා ඇන්ටන් ජයසූරිය මහාචාර්යවරුන් යටතේ. ඔය අතරෙදිම එවකට කළුබෝවිල මහ රෝහලේ චීන කටු සායනයේ වෛද්‍ය වරයකු විදිහට කටයුතු කරන්නත් මට පුළුවන් වුණා. මේ නිසාම ඇමෙරිකාව, ජර්මනිය, චීනය, ඉන්දියාව, ස්විට්සර්ලන්තය, මැලේසියා වැනි රටවල චීන කටු වෛද්‍යවරුන්ගේ දැනුම ලබාගන්න තරම් මම වාසනාවන්ත වුණා.

එතනින් පස්සේ මට හිතුණා මගේ කියලා චීන කටු වෛද්‍ය සායනයක් පටන් ගන්න. මම ඒ දේ ආර්ථික වාසියක් බලාගෙන කරන දෙයක් නෙවෙයි. ඇත්තටම චීන කටු වෛද්‍ය ක්‍රමය හරහා බොහෝ ලෙඩ රෝගවලට සාර්ථක ප්‍රතිකාර ලබාදෙන්න පුළුවන්. අද වෙනකොට මම ඒක ඔප්පු කරල ‍පෙන්නල තියෙනවා. පාරම්පරිකව මම ලැබූ දේශීය වෛද්‍ය ක්‍රමයත් චීන කටු වෛද්‍ය ක්‍රමයත් හරහා අසරණ රෝගීන් වෙනුවෙන් සේවයක් කරන්න ලැබීම මම ලබපු පිනක් කියලයි හිතන්නේ.

චීන කටු වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය අද කලා ලෝකයේ කා අතරත් ජනප්‍රිය චරිතයක්. වෛද්‍යවරයකු විදිහට සිය ජීවිතය ආරම්භ කළත් කුඩා කාලයේ ඉඳලම ඔහු තුළ සැඟව තිබුණු කලා කුසලතාවයනුත් විටින් විට සිය ජීවන ගමනට ද එකතු කර ගන්නවා.

පාසල් යන කාලයේ ඉඳලම මා තුළ යම් කලා කුසලතාවයක් තියෙන එක මම අඳුනගෙන හිටි‍ෙය්. ඒ නිසාම බටහිර හා ඉන්දීය නර්තන ක්‍රම මම ඉගෙන ගත්තා. ඒ අතරතුර වූෂූ සටන් කලාව ඉගෙන ගත්තා. මේ සියල්ල අතරේ ගමේ ඉඳල කොළඹට එනකොට ඉගෙන ගන්න අතරෙදිම මෝස්තර නිරූපණ ශිල්පියකු විදිහට කටයුතු කළා. ඔය නිසාම ගීත ජවනිකා, වෙළෙඳ දැන්වීම් සඳහා දායක වෙන්නත් මට පුළුවන් වුණා.